අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2026, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 05 දක්වා සාර්ථකව පැවැත්විණි. එහි පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් වු අතර, පිරිමි අනුශූරතාවය දියත් විධානය විසින්ද, කාන්තා අනුශූරතාවය පුහුණු විධානය විසින් හිමිකර ගැනීමට සමත් විය.
ඒ අනුව, මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධාන නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 08ක් සහ කාන්තා කණ්ඩායම් 07 ක් සහභාගී වූ අතර, එහිදී විවෘත කේවල කාන්තා ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් කේඒසී කරුණාරත්න විසින් දිනාගත් අතර, විවෘත කේවල පිරිමි, දක්ෂතම ආධුනික ක්‍රීඩකයා හා වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ශූරතා ත්‍රිත්වය වෛද්‍ය ලුතිනන් ඩීඩීඩීඑල් සපරමාදු විසින් හිමිකර ගැනීමට සමත් විය. එමෙන්ම, දක්ෂතම ආධුනික ක්‍රීඩිකාව හා වසරේ නැගී එන ක්‍රීඩිකාව ලෙස සාමාන්‍ය නැවි (කාන්තා) ඩීඩබ්ඒඑන්එන් විජේසිංහ එහිදී සම්මාන හිමිකර ගන්නා ලදි.
තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති හා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ, නාවික හමුදා මේස පන්දු සංචිතයේ සභාපති වෛද්‍ය කොමාණ්ඩර් එච්යූඑස් සිල්වා ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගි වී සිටියහ.