නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
2026 ජුනි මස 17 වැනි දින ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්රදේශය ආශ්රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කලපු ප්රදේශය ආශ්රිතව සිදුකල මෙම විශේෂ සොදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්රාවක් (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එම යාත්රාව තුල උර දහසයක (16) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්රෑම් පන්සිය හතලිස් හතකට (547) අධික තොගයක් සහ ඩිංගි යාත්රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි. එමෙන්ම, මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ අතහැර දමා පලායන්නට ඇතැයි සැක කෙරේ.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.