Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ සහ ඖෂධ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

11 Jun 2026

2026 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ආලන්කුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සහ කරන ලද බීඩි කොළ තොගයක් සහ ඖෂධ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, පුත්තලම ආලන්කුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව මුහුදු සීමාවේ සිදුකල මෙම විශේෂ සොදිසි මෙහෙයුමේදී පාවෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එකසිය හැත්තෑ හතකට (177) අධික තොගයක්, ඖෂධ පෙති තුන්ලක්‍ෂ පනස් හතර දහසක (354,000) පමණ තොගයක්, ඖෂධ ආලේපන ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් හත්දහස් හයසිය හැත්තෑ තුනක් (7673)ක තොගයක්, ඖෂද ද්‍රව්‍ය අඩංගු බෝතල් එකසිය දහ අටක් (118) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි. තවද, මෙම බීඩි කොළ සහ ඖෂධ ද්‍රව්‍ය තොගය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ අතහැර දමා පලායන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ, ඖෂධ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools