Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

RIMPAC - 2026 සමුද්‍රීය යුද අභ්‍යාසය සඳහා දිවයිනෙන් පිටවයන නාවික මැරීන් භටයන්හට ශ්‍රී ලංකා ජාතික ධජය සහිත ලාංඡන පලදවයි

20 Jun 2026

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණිය (U.S. Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2026 (RIMPAC 2026) බහුපාර්ශවීය සමුද්‍රීය යුද අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් දහතුන් දෙනෙකු (13) සහ නාවිකයන් තිස් දෙනෙකු (30) ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණියට අයත් කණ්ඩායම වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ශ්‍රී ලංකා ජාතික ධජය සහිත ලාංඡන පැළඳවීම 2026 ජුනි මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

30 වැනි වරටත් පැවැත්වෙන ලොව විශාලතම බහුපාර්ශවීය සමුද්‍රීය යුද අභ්‍යාසය වන RIMPAC 2026 සඳහා රාජ්‍යයන් තිස් එකක් (31) නියෝජනය කරමින් හමුදා පුද්ගලයන් සමඟ යුද නෞකා, සබ්මැරීන්, ගුවන් යානා සහ ගොඩබිම් බලකා විශාල ප්‍රමාණයක් එක්වීමට නියමිතව ඇත. මෙම අභ්‍යාසය 2026 ජූනි මස 24 වන දින සිට 2026 ජුලි මස 31 වන දින දක්වා ‍ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා ඒ ආශ්‍රිත සාගර කලාපයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සහභාගී වන නාවික හමුදා මැරීන් බලඇණියට අයත් කණ්ඩායම 2026 ජුනි 19 දිවයිනෙන් පිටත්ව යන ලදි.

එමෙන්ම, මෙවැනි බහුපාර්ශවීය සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගීවීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට සාගර කලාපයේ සහ ඉන් ඔබ්බට ජාත්‍යන්තර සාගර කලා‍පය දක්වා පුළුල් සාගරික වපසරියක ‍සිදුකරනු ලබන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩපැවැත්වීමේ මෙහෙයුම් සහ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය වැනි බහුපාර්ශවීය සමුද්‍රීය බලකා සමඟ සන්ධානගතව සිදු කෙරෙන නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම ඇතුළු සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීමටත් සහ ඒ සඳහා සාමූහිකව විසඳුම් සෙවීමටත් අවස්ථාව උදාවනු ඇත.

Accessibility Tools