Sri Lanka Navy – Official Logo

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරම මුලන්කාවිල්හිදී නීතියේ රැහැනට

16 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 15 වැනි දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් තුන්සිය හැත්තෑවකට (370) අධික මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි වයස අවුරුදු 29ක් හා 48ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, ලොරි රථය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools