SLINEX-26 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය ඉන්දියාවේ විශාඛාපට්නම්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාස මාලාවේ 13 වැනි අදියර වන SLINEX-26 නාවික අභ්‍යාසය, දෙරටේ නාවික සහයෝගීතාව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 සැප්තැම්බර් මස 21 වැනි දින ඉන්දියාවේ විශාඛාපට්නම්හිදී සාර්ථකව නිමාවට පත්විය.
දෙරටේ නාවික හමුදා අතර අන්තර්ක්‍රියාකාරීත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ මෙහෙයුම් ක්‍රමවේද හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින්, ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ මෙහෙයුම් අධීක්ෂණය යටතේ පැවැති මෙම අභ්‍යාසය සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරල නෞකාව සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් ප්‍රති සබ්මැරීන කොර්වෙට් වර්ගයේ යුද නෞකාවක් වන INS Kavaratti සහ නාවික බලඇණි ඉන්ධන සැපයුම් නෞකාවක් වන INS Jyoti සහභාගී විය.
මෙම අභ්‍යාසය වරාය අදියර සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්විණි. ඉන්දියාවේ විශාඛාපට්නම් වරාය පරිශ්‍රයේදී පැවති වරාය අදියරේදී, දෙරටේ නාවික හමුදා සාමාජිකයන් අතර වෘත්තීයමය සාකච්ඡා, නෞකා නිරීක්ෂණ සංචාර, විෂය විශේෂඥයන්ගේ අදහස් හුවමාරු සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණි. එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ නාවික හමුදා සාමාජිකයන් හට මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වෘත්තීය හා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අවස්ථාව සැලසිණි.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පැවති මෙම අභ්‍යාසයේ මුහුදු අදියරේදී, මෙහෙයුම් අන්තර්ක්‍රියාකාරී හැකියාව පරීක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සංකීර්ණ නාවික ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරිණි. මතුපිට ඉලක්ක වෙත අවි හැසිරවීමේ අභ්‍යාස, නෞකා උපක්රමිකව හැසිරවීමේ අභ්‍යාස, මුහුදු මංකොල්ලකෑම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ අභ්‍යාස සහ නෞකා අතර හෙලිකොප්ටර් මෙහෙයුම් මුහුදු අදියරේදී සාර්ථකව සිදුකරනු ලැබීය.
මෙම ක්‍රියාකාරකම් මඟින් විවිධ නාවික මෙහෙයුම් අවස්ථාවන්හිදී දෙරටේ නාවික හමුදාවන්ට ඒකාබද්ධව ක්‍රියා කිරීමේ හැකියාව මෙන්ම එකිනෙකාගේ මෙහෙයුම් ක්‍රියාපටිපාටි පිළිබඳ අවබෝධය ද වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබුණු අතර, SLINEX-26 නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් වීම මඟින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂිත, සාමකාමී සහ ස්ථාවර සාගර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා පවතින පොදු කැපවීම යළි තහවුරු කිරීම මෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ වැදගත් මුහුදු ගමන් මාර්ගයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් අවධාරණය විය.