අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව නාවික හමුදාව හිමි කර ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද, අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2025 ජුලි මස 30 සිට අගෝස්තු මස 17 දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලිය පුරා අපරාජිතව විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායම, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරඟයේදී, ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු හතලිස් එකක (41) විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්, 2025 අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව ශ්‍රී ලංකා නාවික හමුදාවට දිනා දීමට සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පන්දුවාර 50 කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් දහයක් (10) සහභාගී විය.
චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය (Chilaw Marians Cricket Club), යුද හමුදා ක්‍රීඩා සමාජය (Army Sports Club), බදුරලිය ක්‍රීඩා සමාජය (Badureliya Sports Club), සිංහල ක්‍රීඩා සමාජය (Sinhalese Sports Club), කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (Colts Cricket Club), ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය (Ace Capital Cricket Club), කොළඹ ක්‍රිකට් සමාජය (Colombo Cricket Club) සහ පානදුර ක්‍රීඩා සමාජය (Panadura Sports Club) පරාජය කරමින් තරඟාවලිය පුරා විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල නාවික හමුදා කණ්ඩායම, මුහුණ දුන් සියළුම තරඟ ජයග්‍රහණය කර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.
ඒ අනුව, ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති අවසන් තරඟයෙන් ලකුණු හතලිස් එකක (41) විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් මෙලෙස 2025 අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව ශ්‍රී ලංකා නාවික හමුදාවට දිනා දීමට සමත්විය.
එහිදී, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාවික හමුදා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 183 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ගුවන් හමුදා කණ්ඩායමට හිමිකර ගත හැකිවූයේ පන්දු වාර 45 කදී සියල්ලන් දැවී ලකුණු 142 ක් පමණි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායමේ හසිනි පෙරේරා ලකුණු 62 ක් ලබා ගැනීමට සමත්විය. එමෙන්ම, හන්සිමා කරුණාරත්න ලකුණු 39 ක් හා නිලක්ෂනා සඳමිනි ලකුණු 33 ක් ලබා ගනිමින් සහ ඉනෝකා රණවීර ලකුණු 22 කට කඩුලු 04 ක් දවා ගනිමින් නාවික හමුදාවේ ජයග්‍රහණය සඳහා දායක වූහ.
ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන නාවික හමුදාවේ හර්ෂිතා සමරවික්‍රම ක්‍රීඩිකාව තරඟ 8 කදී ලකුණු 471 ක් රැස් කරමින් තරඟාවලියේ දක්‍ෂතම පිතිකාරිනිගේ සම්මාන හිමිකර ගන්නා ලද අතර, දඟ පන්දු යවනු ලබන ඉනෝකා රණවීර, තරඟ 08 කදී කඩුලු 23 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩිකාව ලෙස සහ තරඟාවලියේ හොඳම පන්දු යවන්නිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් විය.