නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2024, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2024 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.

සෑම නාවික විධානයක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවු මෙම තරඟාවලියේදී, නැගෙනහිර නාවික විධානය සහ දියත් විධාන කණ්ඩයාම් අතර පැවති පිරිමි අවසන් තරඟය ලකුණු 88 - 58 ක් ලෙස ජයග්‍රහණය කල නැගෙනහිර නාවික විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2024 හි පිරිමි ශූරතාවය හිමිකරගත් අතර එහි අනුශූරතාවය දියත් විධාන කණ්ඩයාමට හිමිවිය. බටහිර නාවික විධාන හා දකුණු නාවික විධාන කණ්ඩායම් අතර පැවති කාන්තා අවසන් තරඟය ලකුණු 33 - 30 ක් ලෙස ජයග්‍රහණය කල බටහිර විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය හිමිකරගත් අතර, එහි අනුශූරතාවය දකුණු නාවික විධාන කණ්ඩායමට හිමිවිය.

එමෙන්ම, මෙම තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් නිපුන් කිරිඇල්ල විසින් හිමිකර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩීකාවට හිමි කුසලානය බටහිර නාවික විධානය නියෝජනය කල නායක කාන්තා ශාරීරික අභ්‍යාසක පීජීටී ප්‍රසාදිනී විසින් හිමිකර ගැනීමට සමත්විය. තරඟාවලියේ නැගීඑන දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල උප ලුතිනන් ලක්මාල් මාබුලගේ විසින් ද, නැගීඑන දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දකුණු නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි පීජීඑස් තාරකා විසින් සහ ප්‍රවීණතම ක්‍රීඩකයාට හිමි කුසලානය බටහිර නාවික විධානය නියෝජනය කල කපිතාන් ජනිත බුද්ධික විසින්ද එහිදී හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.