අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නාවික හමුදාව නියෝජනය කළ නායක නැවි ජීඑල්ඒඑල් මධුසංක තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පළමු පෙළ (TIRE B) තුන්දින ක්‍රිකට් තරගාවලිය 2024 ජූනි මස 28 වන දින සිට 2024 සැප්තැම්බර් මස 15 වන දින දක්වා ක්‍රීඩා සමාජ 12 ක සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ නායක නැවි ජීඑල්ඒඑල් මධුසංක විසින් තරඟාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස තේරී පත්විය.

ඒ අනුව, නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළ වමතින් දඟ පන්දු යවන නායක නැවි ජීඑල්ඒඑල් මධුසංක විසින් තරඟාවලියේ තරඟ 11 කදී පන්දුවාර 351 යි පන්දු 03 ක් යවා නිලකුණු පන්දුවාර 88 ක් සමඟින් ලකුණු 995 කට කඩුලු 77 ක් ලබා ගනිමින් එලෙස එම තරඟාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස තේරී පත්විය.

නායක නැවි ජීඑල්ඒඑල් මධුසංක එම තරඟාවලියේ හොඳම පන්දු යැවීම ලෙස සෙබස්තියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ප්‍රථම ඉණිමේදී පන්දුවාර 15 යි පන්දු 02 ක් යවා නිලකුණු පන්දුවාර 05 ක් ද සමඟින් ලකුණු 55 කට කඩුලු 09 ක් සහ මුළු තරඟය පුරා පන්දුවාර 38 යි පන්දු 01 ක් යවා නිලකුණු පන්දු වාර 15 ක් සමඟින් ලකුණු 101 කට කඩුලු 15 ක් ලබා තරඟාවලියේ එක් තරඟයකදී යැවූ හොඳම පන්දු යැවීම ලෙස සනිටුහන් වේ.

තවද, තරඟාවලියේ ත්‍යාග ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟාවලි සංවිධායක කමිටු සභාපති සමන්ත දොඩම්වල මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදු කෙරිණි.