අන්තර් විධාන පාපැදි තරඟය - 2024 ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන පාපැදි තරඟය - 2024 ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේදී 2024 සැප්තැම්බර් මස 28 වන දින සාර්ථකව නිමාවට පත්වු අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානයත් හිමිකර ගැනීමට සමත්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයෙන් ආරම්භ වී ආණමඩුව සිට නිකවැරටිය දක්වා ගොස් නැවත ආරම්භක ස්ථානයෙන් අවසන් වූ කිලෝමිටර් 88 ක දුරක් දක්වා පැවති පිරිමි ස්ටැන්ඩට් තරගය සඳහා ක්‍රීඩකයින් හැත්තැ දෙදෙනෙකු (72) සහ තම්බපණ්ණි ආයතනයෙන් ආරම්භ වී කල්අඩිය වැල්ලන්කුලම දක්වා ගොස් නැවත ආරම්භක ස්ථානයෙන් අවසන් වු කිලෝමිටර් 20 ක දුරක් පැවති කාන්තා තරගය සඳහා ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු (32) සහභාගී වූහ. උතුරු මැද නාවික විධානය නියෝජනය කල බල වාදක එල්පීඑන්සි නන්දසිරි පිරිමි අංශයේ ප්‍රථම ස්ථානයද, නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක නැවි පිඑච්ඒආර් චාමර දෙවන ස්ථානයද සහ දකුණු නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි ඩබ්ඒඩිඑන් වීරකෝන් තෙවන ස්ථානයද හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය පුහුණූ විධානය නියෝජනය කල බල කාන්තා නැවි (ශාරීරික අභ්‍යාසක) එච්පීඑස් මදුමාලි විසින්ද, දෙවන ස්ථානය උතුරු මැද නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි ආර්එම්අයිඩි රාජගුරු විසින්ද, තෙවන ස්ථානය උතුරු මැද නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි ආර්ජිඩබ්එච් වික්‍රමසිංහ විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

ඒ අනුව, 2024 අන්තර් විධාන පාපැදි තරගාවලියේ කණ්ඩායම් පිරිමි ශූරතාවය හා එහි අනු ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින්ද කණ්ඩායම් කාන්තා ශූරතාවය හා අනුශූරතාවය උතුරුමැද නාවික විධානය විසින්ද දිනා ගැනීමට සමත් විය.

තවද, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා නාවික හමුදා පාපැදි සංචිතයේ සභාපති කොමදෝරු අනුරුද්ධ කරුණාතිලක, ඇතුළු නාවික හමුදා පාපැදි සංචිතයේ සහ නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.