අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2024 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 09 වන දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් ද, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත්විය.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 14 වන දින සාර්ථකව නිමාවට පත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලියේදී, පිරිමි නවක අංශයේ ශූරතාවය දියත් විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් ඒඑම්එම්ඩීකේ අධිකාරි විසින් දිනාගැනීමට සමත් වූ අතර, එහි අනුශූරතාවය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ආර්එම්එස්බී රත්නායක විසින් දිනාගැනීමට සමත්විය. පිරිමි වයස අවුරුදු 35 ට වැඩි අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් දිනාගන්නා ලද අතර, එහි අනුශූරතාවය එම විධානය නියෝජනය කළ නායක ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ඒඩී දිසානායක විසින් දිනාගන්නා ලදි.

එමෙන්ම, පිරිමි වයස අවුරුදු 40 ට වැඩි අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ඩබ්ජීඩී ප්‍රියදර්ශන විසින් දිනාගන්නා ලද අතර, එහි අනුශූරතාවය එම විධානය නියෝජනය කළ පාලක ප්‍රධාන සුළු නිලධාරී ඒඒසී කුමාර විසින් දිනාගන්නා ලදි. මෙම තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ නායක ශාරීරික අභ්‍යාසක එම්එච්අයි බුද්ධික විසින් දිනාගන්නා ලද අතර, එම විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි. විවෘත පළිහ අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සාමාන්‍ය නැවි එම්එම්යූඑන් බංඩාර විසින් දිනාගන්නා ලද අතර, එම විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එම්එම් උදන්ත විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි. එමෙන්ම, කාන්තා විවෘත අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ බල කාන්තා නැවි එච්එම්එස්ඕබී හේරත් විසින් දිනාගන්නා ලද අතර, එම විධානය නියෝජනය කළ බල කාන්තා ශාරීරික අභ්‍යාසක එච්ජීඑන්වී රාජපක්‍ෂ විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි.

තවද, තරඟාවලියේ සමස්ත පිරිමි අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් හිමි කර ගන්නා ලදී.

2024 සැප්තැම්බර් මස 14 වන දින පැවති මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.