දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩදී උත්කර්ශවත් අයුරින් ආරම්භ වෙයි

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024 සැප්තැම්බර් මස 12 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙන ඒමට සුවිශේෂී දායකත්වයක් දක්වයි. ඒ අනුව, මෙවර දහතුන් වන වරට පැවැත්වෙන 2024/ 2025, ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය මඟින් ත්‍රිවිධ හමුදාවන් හි දක්ෂතා සහිත නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හඳුනාගැනීමටත් එමඟින්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ නියෝජනය කිරීමටත් අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිදුකෙරෙන විශේෂ වැඩසටහන් මඟින් ආරක්‍ෂක සේවා මට්ටම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය දක්‍ෂතා පෙන්නුම් කිරීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලබා ඇති අතර, එමඟින් ඉදිරියේදී ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ මව්බිමට ගෙනදීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති 13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ආරම්භක අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති, ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.