‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී ආරම්භවේ

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අගෝස්තු මස 18 වන දින ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් නාවික හමුදා විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 22ක පමණ පිරිසක් සහභාගී වේ.

ඒ අනුව, අද දින සිට (2024 අගෝස්තු 19) අගෝස්තු 21 දක්වා මෙම තරඟාවලිය ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙම තරඟාවලිය මඟින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමට හා අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන්ම, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමත්, මෙරට ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමත් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.