චීනයේ පැවති 04 වන අසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදුන් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ නාවික හමුදාධිපතිගේ ඇගයීමට

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන අසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ, අද දින (2024 අගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී 04 වන අසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදීම සඳහා ඔහු දැක්වූ දක්‍ෂතාවය අගයමින් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමද නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වන් සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 04 වන අසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මව්බිමට පදක්කමක් දිනාදෙමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුගේ සේවය ඇගයීමට ලක්කල නාවික හමුදාධිපති ඔහුවෙත මෙලෙස මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමද සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.