20 – 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

පසුගියදා නිමාවට පත් වූ 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවට දිනාදීම සඳහා දායක වූ කාන්තා නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද දින (2024 අගෝස්තු 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී ආසියානු කාන්තා ක්‍රිකට් කිරුල මව්බිමට දිනාදීමට සිදුකල දායකත්වය ඇගයූ නාවික හමුදාධිපති ඔවුන් පිළිවෙලින් කාන්තා සුළු නිලධාරී, කාන්තා නායක නැවි සහ බල කාන්තා නැවි තරාතිරම් දක්වා උසස් කිරීමද සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය ඇගයීම මෙලෙස නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.