නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2024 ජුලි මස 24 සිට 26 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ පිරිමි අවසන් තරඟය 2024 ජුලි මස 26 වන දින දියත් විධානය සහ දකුණු නාවික විධානය අතර පැවැත්විණි. එහිදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ දියත් විධාන කණ්ඩායම ලකුණු 17/12 ක් ලෙස දකුණු නාවික විධාන කණ්ඩායම පරාජය කරමින් මෙවර අන්තර් විධාන පිරිමි රග්බි ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනු ශූරතාවය දකුණු නාවික විධානයටත්, තෙවන ස්ථානය බටහිර නාවික විධානයටත් හිමි විය.

බටහිර නාවික විධානය සහ උතුරු නාවික විධානය අතර පැවති කාන්තා අවසන් තරඟය 05/00 ක් ලෙස ජයග්‍රහණය කල බටහිර නාවික විධාන කණ්ඩායම, අන්තර් විධාන කාන්තා රග්බි ශූරතාවය දිනාගත් අතර, උතුරු නාවික විධානයට එහි අනු ශූරතාවය සහ පුහුණු විධානයට එහි තෙවන ස්ථානය හිමි විය.

අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024 හි පළඟ ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් වූ අතර, බඳුන ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දියත් විධානයේ ලුතිනන් එම්එම්එස් කුමරතුංග විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය උතුරු නාවික විධානයේ අධුනික කාන්තා නැවි එස්එම්එන්අයි මලින්දි විසින් දිනාගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024 හි අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරන, නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු සනත් පිටිගල ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.