‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් දිනාගනියි

2024 ජූනි මස 22 වන දින සිට 29 වන දින දක්වා නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් සහ අනුශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, නවක අංශයේ ශූරතාවය බල ශාරීරික අභ්‍යාසක එච්එල්එන්එම් කුසුම්සිරි විසින් සහ එහි අනුශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් නිහාල් රත්නායක විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, ප්‍රවීණ යුගල අංශයේ ශූරතාවය කොමදෝරු මාලන් පෙරේරා විසින් සහ කපිතාන් එම්ඒඩීඩීඑම් පියතිලක විසින්ද, එහි දෙවන ස්ථානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා සහ කපිතාන් රංජිත් වල්ගම්පාය විසින්ද දිනා ගැනීමට සමත් වූ අතර, විවෘත යුගල ඉසව්වේ ශූරතාවය සුළු නිලධාරි ශාරිරික අභ්‍යාසක එන්ජේආර් හේමකුමාර විසින් හා නායක ශාරිරික අභ්‍යාසක පීඑම්එස්එල් පෙරේරා විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් දුමින්ද දයානන්ද විසින් සහ ලුතිනන් කොමාණ්ඩර් කේඑච්එම්ඩබ්එල්බී අබේසිංහ විසින් දිනාගැනීමට සමත් විය.

තවද, ‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.