‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 ජුනි මස 07 වන දින සිට 13 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය, 2024 ජුනි මස 13 වන දින බටහිර නාවික විධානය සහ නැගෙනහිර නාවික විධානය අතර පැවති අතර, එහිදී ගෝල 02-00 ක් වශයෙන් ලබා ගනිමින් බටහිර නාවික විධාන කණ්ඩායම මෙලෙස තරඟාවලියේ ශූරතාවය දිනා ගත් අතර, තරඟාවලියේ අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ තරඟාවලියේ තෙවන ස්ථානය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියට සමඟාමීව පැවති විශ්‍රාමික සහ සේවයේ නියුතු ප්‍රවීණයන්ගේ පාපන්දු තරඟාවලියේදී 02-01 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සේවයේ නියුතු ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය.

එමෙන්ම, අන්තර් විධාන පාපන්දු තරඟාවලියේ දක්ෂතම නැගී එන ක්‍රිඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානයේ සාමාන්‍ය නැවි බිජිඒ නවෝද විසින්ද, දක්ෂතම දැල් රකින්නාට හිමි කුසලානය බටහිර නාවික විධානයේ සුළු නිලධාරි පිඒඊ උද්දිප විසින් සහ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය බටහිර නාවික විධානයේ ලුතිනන් එස්අයි වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතාන‍ගේ ‍ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.