තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනියි

තායිවානයේ, තායිපේහිදී පැවැත්වෙන තායිවාන විවෘත මලල ක්‍රීඩා තරඟාවලියේ 2024 ජුනි මස 01 වන දින පැවති මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, එම ඉසව්වේ රිදී පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.

ඒ අනුව, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 04 යි තත්පර 24.66 කින් විශිෂ්ඨ ලෙස නිමා කරමින්, එහි රිදී පදක්කම දිනාගැනීම මඟින් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශේෂඥ පුහුණු අවස්ථා සඳහා පහසුකම් සලසා දීම සහ ඔවුන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම හේතුවෙන් මෙලෙස ජාත්‍යන්තර ජයග්‍රහණ මව්බිමට දිනාදීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී ඇත.