අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2024 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2024 අප්‍රේල් මස 27 සහ 28 යන දිනයන්හීදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 දෙනෙකු සහභාගී විය. එහිදී, මීටර් 750 ක් පිහිනීම, කිලෝමීටර් 20 ක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 05 ක් දිවීම යන තරඟ ඉසව් ඇතුලත් වූ පිරිමි කේවල අංශයේ ප්‍රථම ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි එස්ඒසීඩී ධර්මසේන විසින්ද, දෙවන ස්ථානය පුහුණු විධානය නියෝජනය කල නායක ඉංජිනේරු කාර්මික ජීඑස්එන් පෙරේරා විසින් සහ තෙවැනි ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි ඒඩීටීඑල් මුණසිංහ විසින් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා කේවල අංශයේ ප්‍රථම ස්ථානය පුහුණු විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා විසින්ද, දෙවන ස්ථානය බටහිර නාවික විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඊඑම්ඒජීඑල්බී එදිරිසිංහ විසින් සහ තෙවැනි ස්ථානය උතුරු මැද නාවික විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඩබ්ජීජීපී අමරසිංහ විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.