2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා සම ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවති ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බර ඉසිලිමේ කණ්ඩායම සම ශූරතාවයන් දිනාගැනීමට සමත් වූ අතර, එහිදී කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති ක්‍රීඩිකාව විසින් නව ශ්‍රී ලංකා තරඟ වර්ථා තුනක් පිහිටුවීමට ද සමත් විය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු දිවයිනේ ප්‍රකට බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නි‍යෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවිය. එහිදී නාවික හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම සමඟ සම ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 45, 59 සහ 87 බර පංති යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ජේජීයූආර් ගුණතිලක, බල කාන්තා නැවි ඩබ්සීඑම් වර්ණකුලසූරිය සහ බල කාන්තා නැවි බීසී ප්‍රියන්ති රන් පදක්කම් දිනා ගන්නා ලද අතර, බල කාන්තා නැවි බීසී ප්‍රියන්ති විසින් කිලෝ ග්‍රෑම් 87 ට වැඩි බර පංතිය ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 90 ක්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 113 ක් හා මුළු බර එකතුව 203 ක්ද ඔසවමින් නව ශ්‍රී ලංකා තරඟ වාර්ථා තුනක් පිහිටුවීමටද සමත් විය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 76 සහ 87 ට වැඩි බර පංති යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එස්එස් කුමාරසිංහ සහ සාමාන්‍ය කාන්තා නැවි ඩීඑම්එච්පී දිසානායක විසින් රිදී පදක්කම් දිනාගත් අතර, කිලෝ ග්‍රෑම් 87 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එච්එන්කේ ප්‍රනාන්දු විසින් ‍ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 73 සහ 109 ට වැඩි බර පංති යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය නැවි ඩීඑම්අයිසී දිසානායක සහ සාමාන්‍ය නැවි ඩබ්පීජීඩීසී ජයවික්‍රම විසින් රන් පදක්කම්ද, කිලෝ ග්‍රෑම් 61 බර පංතිය යටතේ තරඟ වැදුනු නායක නැවි ඊඒඩීකේඩී එගොඩවත්ත විසින් රිදී පදක්කමක් සහ කිලෝ ග්‍රෑම් 81 සහ 89 බර පංති යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය නැවි එල්අයිඑම්සී ලියනආරච්චි සහ එස්ඩීඅයියූ සේනාධීර විසින් ලෝකඩ පදක්කම්ද දිනාගැනීමට සමත් විය.