2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදාවෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා තුනක්

පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී, කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති ක්‍රීඩිකාව විසින් 2023 දෙසැම්බර් මස 28 වන දින නව ශ්‍රී ලංකා තරඟ වාර්තා තුනක් (03) පිහිටුවීමට සමත් විය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලිය සඳහා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු සහභාගී වූ අතර, ත්‍රිවිධ හමුදාව ඇතුළු දිවයිනේ ප්‍රකට බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නි‍යෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

ඒ අනුව, මෙම තරඟාවලියේදී කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති විසින් ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 90 ක්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 113 ක් හා මුළු බර එකතුව 203 ක්ද ඔසවමින් මෙලෙස නව තරඟ වාර්තා තුනක් පිහිටවූ අතර, එය ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසයේ කාන්තා ක්‍රීඩිකාවක් විසින් ඔසවන ලද වැඩිම බර ප්‍රමාණය බවටද සනිටුහන් විය.