නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2023 නොවැම්බර් මස 06 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟයේ පිරිමි ශූරතාවය පුහුණු විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවු මෙම තරඟාවලියේදී, පුහුණු විධාන පිරිමි කණ්ඩායම හා උතුරු මැද නාවික විධාන පිරිමි කණ්ඩයාම අතර පැවති අවසන් තරඟය ලකුණු 53 - 45 ක් ලෙස ජයග්‍රහණය කල පුහුණු විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023 හි පිරිමි ශූරතාවය හිමිකරගත් අතර එහි අනුශූරතාවය උතුරු මැද නාවික විධාන කණ්ඩයාම හිමිකර ගැනීමට සමත්විය. බටහිර නාවික විධාන කාන්තා කණ්ඩායම හා පුහුණු විධාන කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් තරඟය ලකුණු 28 - 04 ක් ලෙස ජයග්‍රහණය කල බටහිර විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023 හි කාන්තා ශූරතාවය හිමිකරගත් අතර, එහි අනුශූරතාවය පුහුණු විධාන කණ්ඩායම හිමිකර ගැනීමට සමත්විය.

එමෙන්ම, මෙම තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පුහුණු නාවික විධානය නියෝජනය කල මධ්‍ය නිලධාරී යුඒඩීවීඑස් සමරසේකර විසින් හිමිකර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩීකාවට හිමි කුසලානය බටහිර නාවික විධානය නියෝජනය කල නායක කාන්තා නැවි ඩබ්ඩීඑස් ප්‍රභුමාලි විසින් හිමිකර ගන්නා ලදී. තරඟාවලියේ නැගීඑන දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පුහුණු නාවික විධානය නියෝජනය කල මධ්‍ය නිලධාරී ඩබ්එම්ටීජී වීරකෝන් විසින් හිමිකර ගන්නා ලද අතර, නැගීඑන දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය බටහිර නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි පීඅයිඑස් ‍පෙරේරා විසින්ද, ප්‍රවීණතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කල කපිතාන් අයිඑච්ජේ බුද්ධික විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023 හි ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික රුපසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මෙම අවස්ථාව සඳහා පැසිපන්දු සංචිතයේ සභාපති ‍කොමාණ්ඩර් ඒවී සෞන්දරාජා ඇතුළු නාවික විධානයන්හි ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගීවී සිටියහ.