2023 අන්තර් විධාන කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමි කර ගනියි

2023 අන්තර් විධාන කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2023 ජුනි මස 26 සහ 27 යන දිනයන්හිදි වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවති අතර, එහි අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම සහභාගි විය.

ඒ අනුව, 2023 අන්තර් විධාන කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය උතුරු මැද නාවික විධානය සහ බටහිර නාවික විධානය අතර පැවැත් විය. එහිදී, කාසිය වාසිය බටහිර නාවික විධානය හිමි කර ගත් අතර, ඔවුන් පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ඒ අනුව බටහිර නාවික විධානය පන්දුවාර 05 කදි ලකුණු 69 ක් හිමිකර ගැනිමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල උතුරු මැද නාවික විධාන කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් පන්දුවාර 03 කදී ලකුණු 19 කට දවා ගනිමින් බටහිර නාවික විධාන කණ්ඩායම සමස්ථ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

තරඟාවලියේ දක්ෂතම පිතිකරු බටහිර නාවික විධානයේ සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඩිඅයිඑස් ඩයස් විසින්ද, තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි එල්එච්එම්ඕඑල් කුමාරි විසින්ද, තරඟාවලියේ දක්ෂතම පන්දු රකින්නා උතුරු මැද නාවික විධානයේ සාමාන්‍ය කාන්තා නැවි ජිවීඑස්එස් ගමගේ විසින්ද, අවසාන මහා තරඟයේ වීරයා’ ට හිමි කුසලානය බටහිර නාවික විධානයේ සාමාන්‍ය කාන්තා නැවි කේපීඑම් පෙරේරා විසින්ද, ‘තරඟාවලියේ වීරයා’ ට හිමි කුසලානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි එල්එච්එම්ඕඑල් කුමාරි විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.