අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2023 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2023 හි අවසන් මහා තරඟය 2023 මැයි මස 04 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2023 මූලික වටයේ තරග 2023 අප්‍රේල් මස 19 වන දින සිට මැයි මස 04 වන දින දක්වා “ඒ”, “බී” සහ “සී” වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන්හීදී පැවැත්විණි.

නැගෙනහිර, දියත් සහ පුහුණු යන විධාන කණ්ඩායම් “ඒ” කාණ්ඩය යටතේත්, උතුරු, වයඹ සහ උතුරු මැද යන විධාන කණ්ඩායම් “බී” කාණ්ඩය යටතේ සහ බටහිර, දකුණ සහ ගිණිකොන යන විධාන කණ්ඩායම් “සී” කාණ්ඩය යටතේ තරඟ වැදුණු අතර, එහිදී නැගෙනහිර, දියත්, උතුරු, වයඹ, බටහිර සහ දකුණු යන විධාන කණ්ඩායම් දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගැනීමටත් දෙවන වටයෙන් අනතුරුව බටහිර, නැගෙනහිර දකුණ සහ උතුරු කණ්ඩායම් අර්ධ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

අර්ධ අවසන් තරඟ 2023 අප්‍රේල් මස 30 වන දින සහ මැයි මස 01 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්විණි. එහිදී, බටහිර නාවික විධාන කණ්ඩායම සහ උතුරු නාවික විධාන කණ්ඩායම අතර පැවති පළමු අර්ධ අවසන් තරඟයෙන් බටහිර නාවික විධාන කණ්ඩායම ජයගත් අතර, නැගෙනහිර නාවික විධාන කණ්ඩායම සහ දකුණු නාවික කණ්ඩායම අතර පැවති දෙවන අර්ධ අවසන් තරඟයෙන් නැගෙනහිර නාවික විධානය ජයග්‍රහණය කරන ලදි.

ඒ අනුව, 2023 මැයි මස 04 වන දින බටහිර සහ නැගෙනහිර නාවික විධාන කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී නැගෙනහිර නාවික විධාන කණ්ඩායම පන්දුවාර 42.1 ක දී සියලු දෙනා දැවී ලකුණු 124 ක් හිමිකර ගන්නා ලදි. කණ්ඩායම් නායක ලුතිනන් ජේආර් තරිඳු විසින් ලකුණු 52 ක් ලබාගැනීමට සමත් වූ අතර, බටහිර නාවික විධාන කණ්ඩායමේ ආධුනික නැවි ඩබ්ජීආර්සීඑම් ඉලංගරත්න විසින් පන්දු වාර 8.1 ක් යවමින් ලකුණු 15 ට කඩුලු 04 ක් දවාගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකල බටහිර නාවික කණ්ඩායම පන්දු වාර 33.3 කදී කඩුලු 06 ක් පමණක් දැවී තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, එහිදී කණ්ඩායම් නායක ලුතිනන් එම්පීඑච් පෙරේරා විසින් ලකුණු 36 ක් ලබාගැනීමට සමත් විය.

බටහිර නාවික විධාන කණ්ඩායමේ ආධුනික නැවි ඩබ්ජීආර්සීඑම් ඉලංගරත්න විසින් අවසන් මහා තරඟයේ වීරයාට හිමි සම්මානය සහ තරඟාවලියේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. නැගෙනහිර නාවික විධාන කණ්ඩායමේ නායක ගබඩා සහකාර කේබීඒඑල්ආර් පෙරේරා විසින් තරඟාවලිය පුරා කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු බිඳ දැමීම් 08 ක් සිදුකරමින් තරගාවලියේ දක්‍ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය දිනාගත් අතර, සමූහ ප්‍රධාන සුළු නිලධාරී බීඒජීඅයිපී විජේකුමාර විසින් තරඟාවලිය පුරා ලකුණු 245 ක් ලබාගනිමින් සහ ලකුණු 205 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්‍ෂතම පිතිකරුට හිමි සම්මානය සහ තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.

තවද, අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2023 හි සම්මාන ප්‍රදාණය ප්‍රධාන ආරාධිතයා විසින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීකට් සංගමයේ සභාපති රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම විසින් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.