හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇඟයීමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය 2023 පෙබරවාරි මස 17 වන දින පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර සහ සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී යන ක්‍රීඩිකාවන් දෙදෙනා (02) දිරිගැන්වීම උදෙසා එම ක්‍රීඩිකාවන් වෙත නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් රුපියල් 75,000.00 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම අද දින (2023 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

2023 පෙබරවාරි මස 11 වන දින සිට 17 වන දින දක්වා මීගමුව වෙරළ තීරයේදී පැවති හතරවන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුලුව ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, කොලොම්බියාව, ඕමානය, සෞදි අරාබිය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම සහ ප්‍රංශ කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයේ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම සමත් විය. එම තරඟාවලියේ අනුශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම මව්බිමට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගයමින් ඔවුන් තවදුරටත් දිරිගැන්වීම උදෙසා මෙලෙස නාවික හමුදාධිපති විසින් සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර සහ සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී යන නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර මීට පෙර නේපාලයේ පැවති 13 වන දකුණු ආසියානු වෙරළ අත්පන්දු අනුශූරතාවය, 2020 වර්ෂයේ ඉන්දියාවේ පැවති ඔලිම්පික් සුදුසකම් ලැබීමේ තරඟයේ අනුශූරතාවය සහ 2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති මධ්‍යම ආසියානු වෙරළ අත්පන්දු තරඟයේ ශූරතාවය හිමිකර ගෙන ඇති නාවික හමුදා වෙරළ අත්පන්දු සංචිතය නියෝජනය කරනු ලබන දක්‍ෂ ක්‍රීඩිකාවකි.

සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී ක්‍රීඩිකාවද මීට පෙර නේපාලයේ පැවති 13 වන දකුණු ආසියානු වෙරළ අත්පන්දු අනුශූරතාවය, 2020 වර්ෂයේ ඉන්දියාවේ පැවති ඔලිම්පික් සුදුසකම් ලැබීමේ තරඟයේ අනුශූරතාවය, 2016 ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු ශූරතාවය සහ 2018 ජාතික වෙරළ අත්පන්දු ශූරතාවය දිනාගෙන ඇති නාවික හමුදා වෙරළ අත්පන්දු සංචිතය නියෝජනය කරනු ලබන දක්‍ෂ ක්‍රීඩිකාවකි.

එමෙන්ම, ශ්‍රී ලංකාව නියෝජනය කර විවිධ ක්‍රීඩා ඉසව්වන්ගෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට කීර්තියක් ගෙනදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, මීට පෙර අවස්ථාවන්හීදීද නාවික හමුදාව විසින් මෙවැනි දිරිගැන්වීම් සිදුකර ඇති අතර, එවැනි දිරිගැන්වීම් නාවික හමුදා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා පමණක් නොව මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසාද සිදුකෙරෙන සුවිශාල ආයෝජනයක් වනු ඇත.