07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023 සමස්ථ ශුරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023, වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2023 මාර්තු මස 29 වන දින සිට 2023 අප්‍රේල් මස 04 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

තරඟාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතික පත්‍ර පිරිනැමීම නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමය ඇතුළු දිවයිනේ ප්‍රකට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමිකරගනිමින් ශූරතාවය නාවික හමුදාවට දිනාදීමට දායක විය.

ඒ අනුව, මීටර් 25 ක්‍ෂණික වෙඩිතැබීම් පිස්තෝල පිරිමි (ඒකල) ඉසව්ව, මීටර් 25 සම්මත පිස්තෝල පිරිමි (ඒකල) ඉසව්ව හා මීටර් 25 මිලිටරි පිස්තෝල පිරිමි (ඒකල) ඉසව්වේ රන් පදක්කම් සුළු නිලධාරී ඩබ්එම්කේ කුමාර විසින් ද, මීටර් 25 සම්මත පිස්තෝල පිරිමි (ඒකල) ඉසව්වේ රිදී පදක්කම නායක නැවි ආර්ඩීඑම්එච් ලියනගේ විසින් සහ එහි ලෝකඩ පදක්කම නායක ගබඩා සහකාර කේඑම්සීබී කුලතුංග විසින් දිනගැනීමට සමත් විය.

මීටර් 50 බිම වැතිර වෙඩිතැබීමේ පිරිමි (ඒකල) ඉසව්වේ රන් පදක්කම නායක පාබල එච්ඩීපී කුමාර විසින් ද එහි රිදී පදක්කම නායක නැවි එන්පී විජේරූප විසින් සහ ලෝකඩ පදක්කම නායක නැවි ඩබ්කේවයි ක්‍රිෂාන්ත විසින් දිනාගැනීමට සමත් විය.

මීටර් 50 තුන් ඉරියව් පිරිමි (ඒකල) ඉසව්වේ රන් පදක්කම නායක නැවි එන්පී විජේරූප විසින් සහ එහි රිදී පදක්කම නායක නැවි ඩබ්කේවයි ක්‍රිෂාන්ත විසින් දිනාගැනීමට සමත් වූ අතර, මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ පිරිමි (ඒකල) ඉසව්වේ රන් පදක්කම නායක පාබල එච්ඩීපී කුමාර විසින් දිනාගැනීමට සමත් විය.

මීටර් 50 බිම වැතිර වෙඩි තැබීමේ කාන්තා (ඒකල) ඉසව්වේ රන් පදක්කම නායක කාන්තා නැවි කේකේජී පෙරේරා විසින් ද, රිදී පදක්කම නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින් සහ එහි ලෝකඩ පදක්කම බල කාන්තා නැවි ඩීඑල්එම්ඒ කුමාරී විසින් දිනාගත් අතර, මීටර් 50 තුන් ඉරියව් කාන්තා (ඒකල) ඉසව්වේ රන් පදක්කම නායක කාන්තා නැවි කේකේජී පෙරේරා විසින් ද, එහි රිදී පදක්කම නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින් සහ මීටර් 10 වායු පිස්තෝල කාන්තා (ඒකල) ඉසව්වේ ලෝකඩ පදක්කම නායක කාන්තා නැවි කේජීඩීටී දිල්රුක්ෂි විසින් ද දිනාගැනීමට සමත් විය.

මීටර් 25 ක්‍රීඩා පිස්තෝල කාන්තා (ඒකල) ඉසව්වේ රිදී පදක්කම සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ජීඑස් ප්‍රියදර්ශනී විසින්ද, එහි ලෝකඩ පදක්කම නායක කාන්තා නැවි කේජීඩීටී දිල්රුක්ෂි විසින් ද දිනාගැනීමට සමත් වූ අතර, මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ කාන්තා (ඒකල) ඉසව්වේ රිදී පදක්කම නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින් දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම කාන්තා රයිෆල් වෙඩික්කරු සම්මානය නායක කාන්තා නැවි කේකේජී පෙරේරා දිනා ගත් අතර, දක්‍ෂතම රයිෆල් වෙඩික්කරු සම්මානය නායක පාබල එච්ඩීපී කුමාර විසින්ද, දක්‍ෂතම පිස්තෝල වෙඩික්කරු සම්මානය සුළු නිලධාරී (විපා) ඩබ්එම්කේ කුමාර විසින් ද දිනාගැනීමට සමත් විය.

එලෙස ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගත් අතර, ශ්‍රීලංකා යුද්ධ හමුදාව එහි අනුශූරතාවය දිනා ගන්නා ලදී.

තවද, මෙම තරඟාවලිය සඳහා පාසල් ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 236 දෙනෙකු සහභාගී වූ අතර, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශේෂ දක්‍ෂතා පෙන්නුම් කළ කොළඹ නාලන්ද විද්‍යාලයේ ආර්එස් සේනාරත්න දක්‍ෂතම කණිෂ්ඨ වෙඩිකකරු ලෙසත්, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ එස්ඩී ගලගෙදර දක්‍ෂතම කණිෂ්ඨ වෙඩික්කාරිය ලෙසත්, දක්‍ෂතම යොවුන් වෙඩික්කාරිය ලෙස කැම්රියන් වෙඩිතැබීමේ සමාජයේ ඩබ්එච්ඒවිඑන් වීරසිංහ විසිනුත් සම්මාන දිනා ගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති, පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගම් භාර ගුරුභවතුන් ඇතුළු සම්භාවනිය අමුත්තන් පිරිසක් සහභාගිවී සිටියහ.