12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වන දින ත්‍රීකුණාමලය උතුර, තිරියාය මුහුදු තීරය සහ කුච්චවේලි නගරය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පිරිමි කණ්ඩායම් අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

පිරිමි හා කාන්තා වශයෙන් කාන්ඩ දෙකක් යටතේ පැවැත්වුණු 12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි අංශය සඳහා ක්‍රීඩකයින් 10ක්ද, කාන්තා අංශය සඳහා ක්‍රීඩිකාවන් 03 ක්ද සහභාගී විය. තරඟාවලිය මීටර් 750 පිහිනුම් ඉසව්වකින්ද, කිලෝමීටර් 20ක පාපැදි ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5ක මාර්ග ධාවන ඉසව්වකින් සමන්විත විය.

ඒ අනුව, නාවික හමුදාව නියෝජනය කළ නායක කිමිදුම් ජේඩීපීපී ජයසිංහ විසින් පිරිමි අංශයේ පළමු ස්ථානයත්, බලනැවි ආර්එම්පීඑස් බංඩාර එම අංශයේ දෙවන ස්ථානයත් දිනාගනිමින් 12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි කණ්ඩායම් අනුශූරතාවය නාවික හමුදාවට හිමිකර දීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලදි.

තවද, 12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023 සමස්ථ පිරිමි ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් වෙත සහ එහි අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයින් ඇතුළු ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදාණය තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති විසින් සිදුකෙරුනු අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.