“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023” අනුශූරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි

“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023”, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2023 අප්‍රේල් මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය කණ්ඩයාම් (පිරිමි /කාන්තා), විවෘත සහ විවෘත වයස අවුරුදු 45 ට වැඩි වශයෙන් කාණ්ඩ 03 ක් යටතේ පැවත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 13 ක් සහ නාවිකයන් 09ක් සහභාගීවිය.

තරඟාවලියේ වීවෘත වයස අවුරුදු 45 ට වැඩි කාණ්ඩය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් නව දෙනෙකු (09) සහභාගී වූ අතර, කපිතාන් මංගල මුම්මුල්ලගේ එම කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට සමත්විය. තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ සාමාන්‍ය නැවි එම්එච්සී පුෂ්පික විසින් ‘Longest Drive’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදාණෝත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, තරඟාවලියේ ශූරතාවය දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම වෙත සහ අනුශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම වෙත කුසලාන හා සහතිකපත් පිරිනැමීම එහිදී ගුවන් හමුදාධිපති විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.