2023 - නිපෝන් රග්බි තරඟාවලියේ ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් පරදා නාවික හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් තරඟ ජයක් හිමි කර ගනී

2023 ජනවාරි මස 27 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රිඩා පිටියේදී පැවති 2023 - නිපෝන් රග්බි තරගාවලියේ ගුවන් හමුදා පිරිමි හා කාන්තා රග්බි කණ්ඩායම් සමඟ පැවති තරඟ වලින් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා පිරිමි හා කාන්තා රග්බි කණ්ඩායම් සමත් විය.

ඒ අනුව, නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම විසින් 32 – 31 ක් ලෙස ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම පරදා තියුණු ජයක් ලබාගැනීමට සමත් වූ අතර, බලනැවි ටීඑම් වීරසිංහ ප්‍රවර්ථන 03 ක් සහ දඬුවම් පහර 02 ක් ද, ලුතිනන් එස්ජේඑෆ් ග්‍රෙගරි, සාමාන්‍ය නැවි ආර්ඒඑන්යූ පෙරේරා, සාමාන්‍ය නැවි එම්ඒඑෆ්එම් මුෂීන් සහ සාමාන්‍ය නැවි ජීඩීජේ ලක්සර විසින් උත්සාහක දිනුම් 01 බැගින් ද ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය.

එමනේම, නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම විසින් 55 – 00 ක් ලෙස ගුවන් හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරදා විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත් වූ අතර, මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ නායක කාන්තා නැවි ඒඑච්එස් මදුමාලී විසින් උත්සාහක දිනුම් 03 ක් සමඟ ප්‍රවර්ථන 05 ක් සාර්ථක කරගැනීමට සමත් විය. තවද, බල කාන්තා නැවි ආර්එස්එච් කුමාරි විසින් උත්සාහක දිනුම් 02 ක් ලබාගත් අතර, නායක කාන්තා ශාරීරික අභ්‍යාසක පී ඩිලානි, නායක කාන්තා නැවි එම්ආර් කුමුදුමලී, බල කාන්තා නැවි ජීජී රන්දුනු සහ සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ආර්ඩබ් විතාන විසින් උත්සාහක දිනුම් 01 බැගින් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය.