‘Commandant’s Cup Sailing Regatta - 2023’ ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2023 ජනවාරි මස 09 වන දින ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, ඉතාලිය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් නාවික විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 27 දෙනෙකු සහභාගි වනු ලබන අතර, තරඟාවලිය ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබයි.

ඒ අනුව, අ‍ද සහ හෙට දෙදින (2023 ජනවාරි මස 10 සහ 11) මෙම තරඟාවලිය ත්‍රිකුණාමලය, ඇතුල් වරාය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙම තරගාවලිය මඟින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමට හා අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන්ම, මෙරට ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමටද මහඟු පිටුවහලක් වනු ඇත.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, පුහුණුවන නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.