“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක්

“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 දෙසැම්බර් මස 03 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම සමත් විය.

රුහුණු රුවල් ඔරු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළු දිවයිනේ රුවල් ඔරු ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 87 ක් සහභාගී විය.

ඒ අනුව, මෙම තරඟාවලියේ ‘Lasar Radial Class’ අංශයෙන් ප්‍රථම ස්ථානය සුළු නිලධාරී පීඩීඩීඑස් රාජපක්‍ෂ විසින් දිනාගත් අතර, නායක නැවි ඩබ්ඒඑස් වීරතුංග සහ නායක නැවි ජේඑස් සෙනවිරත්න එම අංශයේ පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන දිනාගැනීමට සමත් විය.

‘Lasar Standard Class’ අංශයෙන් ප්‍රධාන සුළු නිලධාරී කේජීසීයූඑස් බංඩාර විසින් දෙවන ස්ථානය දිනාගත් අතර, සමූහ ප්‍රධාන සුළු නිලධාරී කේවීඑන් දිමාල් විසින් එහි තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය. එමෙන්ම ‘GP14 Class’ අංශයෙන් සමූහ ප්‍රධාන සුළු නිලධාරී එන්ජීඑම්යූ ගුණවර්ධන සහ බලනැවි ඒඑස්කේ සොයිසා දෙවන ස්ථාන දිනාගත් අතර, ප්‍රධාන සුළු නිලධාරී ජේඑම්පීඑල් ජයසූරිය සහ නායක නැවි කේසී ද සොයිසා එහි තෙවන ස්ථාන දිනාගැනීමට සමත්විය.

තවද, ‘Enterprise Class’ අංශයෙන් නායක නැවි ඒඑම්අයිපී අත්නායක සහ නායක නැවි කේඑස්කේ ද සිල්වා විසින් ප්‍රථම ස්ථානයද, නායක පාබල ජේඑච්එම්පීඅයි ජයපත්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින් දෙවන ස්ථානය හා ප්‍රධාන සුළු නිලධාරී ජේඑච්ටීසී අප්පුහාමි සහ නායක නැවි කේඒඑන් කිත්සිරි විසින් එහි තෙවන ස්ථානයද දිනාගැනීමට සමත් විය. එමෙන්ම, මෙම තරඟාවලියේ ‘Wind Surfing’ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නායක නැවි කේපීපී ගුණවර්ධන සමත් විය.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.