නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කළපුව ප්‍රදේශය ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ පුත්තලම ගගේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, එම කළපු ප්‍රදේශයෙහී ළඳු කැලෑවක තිබූ සැකකටයුතු උර විසි හතරක් (24) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය අටක (908) පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.