ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී ආපදාවට පත්ව සිටියදී මුදාගත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25ක් ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපයේදී පෙරළි යාමෙන් ආපදාවට පත් KM ‘GARUDA JAYA VI’ යන ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ සිටි ඉන්දුනීසියානු ජාතිකයින් විසිපස් දෙනෙකු (25) MV MOONSTONE නෞකාවෙන් මුදාගෙන ඇති අතර, එම මුදාගත් පිරිස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඉදිරි කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට 2026 සැප්තැම්බර් 24 රාත්‍රියේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුල ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මෙම ඉන්දුනීසියානු ධීවර යාත්‍රාව 2026 සැප්තැම්බර් මස 22 වැනි දින එම මුහුදේ පෙරළි යාමෙන්, එහි සිටි ඉන්දුනීසියානු ජාතිකයින් පිරිස ආපදාවට පත්ව ඇත. ආපදාවට පත් ඉන්දුනීසියානු ජාතිකයින් අතරින් විසි පස්දෙනෙකු (25) MV MOONSTONE නෞකාව මඟින් මුදාගෙන ඇති බවත්, එම පිරිස භාරදිම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත එම නෞකාව වෙතින් සිදුකල දැනුම් දීමකට කඩිනමින් ප්‍රථිචාර දැක් වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් පිරිස රැගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් (02) යොමු කෙරිණි
ඒ අනුව, MV MOONSTONE නෞකාව මඟින් රැගෙන ආ ඉන්දුනීසියානු ජාතිකයින් විසිපස්දෙනා (25) නාවික හමුදා යාත්‍රාවක් මඟින් රැගෙන කොළඹ වරාය වෙත රැගෙනවිත් එම පිරිසට අවශ්‍ය මානුෂීය ආදාර ලබා දී ඉදිරි කටයුතු සඳහා ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.