Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය සඳහා මෙරට ප්‍රථම රළ රහිත විනිසුරු යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව නිපදවයි

22 Sep 2026

දේශීය නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු නිෂ්පාදන අංගනය (Naval Boat Building Yard – NBBY) මඟින්, ඔරු පැදීමේ සහ කැනෝ පැදීමේ තරඟ හා පුහුණු කටයුතු සඳහා මෙරට ප්‍රථම දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කරන ලද, රළ තරංග රහිත විනිසුරු යාත්‍රාව (Waveless Referee Boat), බත්තරමුල්ල දියවන්නාව නාවික ජල ක්‍රීඩා මධ්‍යස්ථානය වෙත, 2026 අප්‍රේල් මාසයේදී භාරදුන් අතර, මේවන විට යාත්‍රාව සාර්ථකව මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

ISO 9001:2015 සහ ISO 45001:2019 ප්‍රමිතීන්ට අනුකූල සහ විමෝචන හා අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් EPL සහතිකය හිමි නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනය විසින් මෙම විශේෂිත යාත්‍රාවේ සැලසුම් සහ ඉදිකිරීම් සාර්ථකව සිදුකිරීම, නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ස්වයංපෝෂිතභාවය, තාක්ෂණික දියුණුව සහ දේශීය තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික උපායමාර්ගික සැලැස්ම 2030ට (NAVSTRAT-2030) අනුකූලව සිදුකෙරුණු ව්‍යාපෘතියක් වේ.

මෙම රළ තරංග රහිත විනිසුරු යාත්‍රාවේ සම්පූර්ණ සැලසුම නාවික සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලය (Directorate of Naval Design) විසින් නාවික ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර අනුමත කර ඇති අතර, සිදුකළ කාර්යසාධන පරීක්ෂණ මගින් යාත්‍රාවේ කාර්යක්ෂමතාව තහවුරු කර ඇත. විශේෂිත යාත්‍රාවක් සැලසුම් කිරීමේ සිට ඉදිකිරීම සහ මෙහෙයුම් පරීක්ෂණ දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය දේශීයව සිදුකිරීමේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හැකියාව මෙම යාත්‍රාව නිෂ්පාදනය කිරීම මඟින් තවදුරටත් තහවුරු වේ.

ඔරු පැදීමේ තරග සඳහා ජලය ඉතා සන්සුන්ව පැවතීම අත්‍යවශ්‍ය වන අතර, විශේෂයෙන් තරගකරුවන්ගේ ආරක්ෂාව, තරගයේ සාධාරණත්වය සහ නිවැරදි කාල ගණනය සඳහා ජල මතුපිට ඇතිවන සුළු තරංග පවා බලපෑම් කළ හැකිය. මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, තරඟකරුවන් ගමන් කරන ඔරු ආසන්නයේ ක්‍රියාත්මක වන විට ජලයේ රළ තරංග ඇතිවීම අවම වන ආකාරයෙන් ඉහළ ස්ථායිතාවකින් යුත් අඩු තරංග ජනනය කරනු ලබන කැටමරන් වර්ගයේ යාත්‍රාවක් ලෙස මෙම යාත්‍රාව නිර්මාණය කර ඇති අතර, එමඟින් තරඟ විනිසුරුවන් සඳහා ස්ථාවර සහ විශ්වාසනීය වේදිකාවක් සැපයීමට මෙන්ම තරඟ පැවැත්වීම සඳහා අවශ්‍ය සන්සුන් ජල තත්ත්වය පවත්වා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

මෙම නව යාත්‍රාව සඳහා NC/WL/001 යන හල් අංකය ලබාදී ඇති අතර, යාත්‍රාව කැටමරන් (Catamaran) යාත්‍රා වර්ගීකරණයට ඇතුලත් වේ. යාත්‍රාවේ සම්පූර්ණ දිග මීටර් 5.53 ක වන අතර, පළල මීටර් 2.30 කි. සාමාන්‍ය ගැඹුර මීටර් 0.16 ක් හා සම්පූර්ණ බර ටොන් 0.45ක් වන මෙම යාත්‍රාවේ මගී ධාරිතාවය උපරිම පුද්ගලයන් දෙදෙනෙකු වන අතර, පෙට්‍රල් ඉන්ධන භාවිත අශ්වබල 25ක පිටත එන්ජිමක් මඟින් මෙම යාත්‍රාව ක්‍රියාත්මක වේ.

තවද, සාම්ප්‍රදායික නාවික මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට ද නාවික ඉංජිනේරු හැකියාවන් දායක කරගත හැකි බව තහවුරු කරනු ලබන මෙම ව්‍යාපෘතිය, දේශීය ඉංජිනේරු නවෝත්පාදනය සහ ස්වයංපෝෂිතභාවය තවදුරටත් වර්ධනය කිරීමේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් වැදගත් පියවරක් ලෙස සනිටුහන් වේ.

Accessibility Tools