නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 77ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව 2026 අප්‍රේල් මස 17 සිට 30 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හැත්තෑ හත්දෙනෙකු (77), ඩිංගි යාත්‍රා දහහතක් (17) ට්‍රැක්ටර් රථ හයක් (06) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය, කතන්තලෙයි, කරුමලයූතෘ, වාලච්චේනයි, කල්ලරාව, කින්නියා, තුඩුව, කායන්කේනි, බෝල්ඩර් පොයින්ට්, සාම්පූර්, චිලාවත්තායි, ඉරක්කණ්ඩි, මොහොත්තුවාරම්, පනිච්චන්කේනි, නන්දිකඩාල් කලපුව, යාපනය වෙත්තලකේනි, පේදුරු තුඩුව, මන්නාරම් සාවාරිපුරම්, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර, වයඹ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් මෙලෙස පුද්ගලයන් හැත්තෑ හත් දෙනෙකු (77) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලදි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කෝකිලායි, මුලතිව්, යාපනය, වාලච්චේනයි, කුච්චවේලි, සිලාවතුර සහ කින්නියා යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් නීති විරෝධී ධීවර කටයුතු වැළක්වීමටත්, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීමත් අරමුණු කරගනිමින් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිරන්තරයෙන් සුදානමින් සිටි.