නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 06ක් යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේණි ආයතනය මඟින්, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම හා යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.