නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කජු තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 10 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථ දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථ දෙකෙහි (02) තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන පාර්සල් හතලිස් හයක (46) අසුරන ලද වියළි කජු කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථ දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් වන නොරෙච්චෝලේ සහ ආලංකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියළි කජු තොගය සහ ලොරි රථ දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.






