නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රීලංනානෞ ගෝකණ්න ආයතනය මඟින්, මහවැලිග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා පහක් (05)ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, මහවැලි ග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි තොග රැගත් එම ඩිංගි යාත්‍රා පහ (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, නීති විරෝධී ලෙස සාදන ලද මත්පැන් ලීටර් 30 ක පමණ ප්‍රමාණයක්ද එහිදී නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස ගොඩ දමන ලද වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහ (05) සහ නීති විරෝධී ලෙස සාදන ලද මත්පැන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.