කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
නැගෙනහිර මුහුදේ, ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 16 ක් (කිමි 29ක් පමණ) දුරින් වු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් 2025 දෙසැම්බර් මස 10 දින රාත්‍රීයේදී කටයුතු කෙරිණි.
ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් 2025 දෙසැම්බර් මස 02 වැනි දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අකීත් 2’ (IMUL-A-0957 TLE) නමැති බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 16ක් (කිමි 29ක් පමණ) දුරින් වු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එහි සිටි ධීවරයෙක් රෝගීව අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.
ඒ අනුව, 2025 දෙසැම්බර් මස 10 වැනි දින රාත්‍රී කාලයේදී අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත කඩිනමින් රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.


