කේරළ කංසා කිලෝ ග්‍රෑම් 33කට අධික තොගයක් උතුරු මුහුදේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 05 වැනි දින, යාපනය මාමුනෛයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කේරළ කංසා කිලෝ ග්‍රෑම් තිස්තුනකට (33) අධික තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීම මඟින් මාමුනෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් (01) පරීක්‍ෂාවට ලක්කර, එම උරය තුල අසුරා තිබූ කේරල කංසා කිලෝ ග්‍රෑම් තිස්තුනකට (33) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතකට (07) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් එම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීම‍ට කටයුතු කෙරිණි.