රුපියල් මිලියන 21කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශයේ දි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි එකකට (21) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්‍රෑම් පන්සියයක (500) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ යතුරු පැදි සංචිතය මඟින් සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබූ සැකකටයුතු උර හතරක් (04) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා තිබූ කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්‍රෑම් පන්සියයක (500) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසිඑකකට (21) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලෙයි පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.