කාර්මික දෝශයක් හේතුවෙන් දකුණු මුහුදේ දී අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදා ගැනීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 අගෝස්තු මස 30 දින කටයුතු කෙරිණි.
2025 අගෝස්තු මස 28 වැනි දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් තිදෙනෙකු (03) රැගත් ට්‍රෝලර් යාත්‍රාවක ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දකුණු මුහුදට දෙසට පාවී ගොස් ඇති බවත්, එම යාත්‍රාව සෙවීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසත්, ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි, කොළඹ සමුද්‍රීය සෙවීමේ හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාණය වෙත දැනුම් සිදුකෙරිණි. එම දැනුම්දීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දකුණු මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටි ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව, මෙම සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යොමු කෙරිණි.
ඒ අනුව, සිදුකළ සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් මඟින්, ආපදාවට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ලඟා වූ සිදුරළ නෞකාව, ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනාට අවශ්‍ය සහන සැලසීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒම සිදුකෙරිණි.
තවද, ශ්‍රී ලංකාවට අයත් ජල තීරය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාවට අවශ්‍ය සහන සැලසීම සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථනයේ සම්බන්ධීකරණයෙන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.