රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ එකසිය විසිඑකකට (121) අධික තොගයක් සමඟ, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ සැකකරුවන් පස්දෙනෙක්(05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රි ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව 2025 අගෝස්තු මස 29 වන දින ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රා තුල උර හතරක (04) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ එකසිය දහනවයයි (119) ග්‍රෑම් පන්සියයක (500) පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා පුස්සදේව සහ ශ්‍රි ලංකා නාවික නෞකා ගජබා ආයතන, මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා එක්ව අගෝස්තු 27 වැනි දින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි(02) ග්‍රෑම් තුන්සියක (300) ප්‍රමාණයක් සමඟ සැකකරුවකු(01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ එකසිය විසි එකයි (121) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි හතකට (27) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 51ත් අතර වන මාදම්පේ සහ කයිට්ස් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මන්නාරම වන්කාලෛයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුකරගත් සැකකරු වයස අවුරුදු 19ක් වන වන්කාලෛයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇත. එම සැකකරුවන් පස්දෙනා (05), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් සහ වන්කාලෙයි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.