රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද සහ වයඹ නාවික විධාන එක්ව, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ විකිණීමට සූදානම්කර තිබූ සැකකටයුතු උර හතලිස් තුනක් (43) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උරතුල සූක්‍ෂම ලෙස අසුරා තිබු කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විස්සකට (20) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, අත්අඩංගුවට ගත් කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.