නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා වල්ලම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2025 ජුලි මස 17 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු වල්ලම් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම යාත්‍රාවේ තිබූ උර හතක (07) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් දොලහක් (12) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා එම වල්ලම් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ක් සහ 35ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා එම සැකකරුවන් සමඟ කෘමිනාශක, එනසාල් තොගය සහ වල්ලම් යාත්‍රාව කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.