නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 750ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සේරක්කුලිය සහ පුත්තලම ගඟේවාඩිය වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2025 ජුලි මස 16 හා 17 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය පනහක (750) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානය මඟින් 2025 ජුලි මස 16 වැනි දින ගගේවාඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඩිංගි යාත්‍රාවක තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය දොලහක (412) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාවද, විජය ආයතනය මඟින් 2025 ජුලි මස 17 වැනි දින සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ලඳු කැලාවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය තිස් අටක (338) පමණ තොගයක් ද වශයෙන්, ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය පනහක (750) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.