බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක්‍ නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 02 ක් පමණ (කිලෝ මීටර් 04 ක් පමණ) දුරින් වූ බටහිර මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුලි මස 19 වැනි දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, ඉදිරි කටයුතු සඳහා දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

2025 ජුලි මස 18 වැනි දින වත්තල, පල්ලියවත්ත වෙරළ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් තිදෙනෙකු (03) රැගත් ඩිංගි යාත්‍රාවක්, පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නැවත ගොඩබිමට පැමිණීමේදී, එහි පිටත දහන යන්ත්‍රය අක්‍රීය වීමෙන්, පල්ලියවත්තට ඔබ්බෙන් නාවික සැතපුම් 02 ක් පමණ (කිලෝ මීටර් 04 ක් පමණ) දුරින් වූ මුහුදේ ආපදාවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක්‌ අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් මුදා ගැනීම සඳහා යොමු කෙරිණි.

ඒ අනුව, සිදුකළ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම මඟින් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට ක‍ටයුතු කෙරුණු අතර, එම පිරිස දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් පසු මුලික ප්‍රථමාධාර ලබාදී ඉදිරි කටයුතු සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කෙරිණි.