දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 30 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුනි 09 සිට ජුනි 20 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් දෙනෙකු (30) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) හා තෙප්පම් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, යාපනය ගුරුනගර්, ත්‍රිකුණාමලය උප්පුරාල්, කුඹුරුපිඩ්ඩි, පොඩුව්කඩ්ඩුව හා නිලාවේලි, මුලතිව් අලම්පිල් හා නයාරු, මඩකලපුව පාලමින්මාදු, පුත්තලම පුලියන්කුඩා කලපුව යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, උතුර, නැගෙනහිර සහ වයඹ නාවික විධාන, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකිරීම සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙලෙස සැකකරුවන් 30 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 10ක්, තෙප්පම් යාත්‍රා 02ක් සහ තහනම් ධීවර දැල් 14ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය, ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, මඩකලපුව මාමුනෙයි උතුර සහ කල්පිටිය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ නිලාවේලි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය සර්ධාපුර විශේෂ කාර්යය බළකාය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.