නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1314ක් ඇතුළු භාණ්ඩ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 06 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් තුන්සිය දහහතරක (1314) පමණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, උතුරුමැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නඩුකුඩා ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා දෙකෙහි තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් තුන්සිය දහහතරක (1314) පමණ තොගයක් සහ තවත් භාණ්ඩ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව්දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රා, බීඩි කොල තොගය සහ අනෙක් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම සුරබදු දෙපාර්තමේන්තු කාර්යලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.